Tuesday, April 17, 2012

ප්ලේන්ටිය


මගේ ජීවිතේ උන සිද්ධි ගැන මතක් කරලා බලනකොට එකපාරටම මට මේ සිද්ධිය මතක් උනා.ඒ සිද්ධිය එදා මට  මගේ ඇස් වල කදුළු පිරෙනකන් හිනාවෙන්න මගපාදපු නිසා මට ඒක හොදට මතකයි.මේක උනේ මං  බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක වැඩ කරන අතරතුර කාලයේදී.

                    දවස පුරාම වැඩ කරලා අපේ ඔෆීස් එක ලඟ පාරෙන් මං වැනි වැනි හැමදාම මං සිංහගිරි හෝටලේට ගියේ ප්ලේන්ටීයක් බීලා පොඩි පණක් ගන්න.මං ඒ පාරෙන් හවසට  වැනි වැනි ගියේ දවසම එකදිගට වැඩකරලා මහන්සියට උනාට,ඒ පාරේ ඒ වෙලාවට කොටට ඇදගත්ත අනිත් ඔෆිස්වල කෙල්ලෝ එහෙම යන්නේ එයාලටත් මහන්සි නිසාද?එහෙමත් නැත්නම් එයාලා එහෙම යන්නේ එයාල දිහා බලන අපේ මහන්සිය නැති කරන්නද කියලා මට ඒ දවස්වල නිතරම හිතුනා.කොහොම නමුත්  නන්නාදුනන අයට හතලිස්පහේ ගංවතුර වගේ ප්ලේන්ටියක් දැම්මත්,හැමදාම ඒ හෝටලේට යන එන නිසාදෝ තේ හදන නන්දකුමාර් මට වෙදපප්පාගේ අරිෂ්ටය වගේ තේ එකක් මට හැමදාම හදල දුන්නා.හෝටලේ වැඩ කරන අය එක්ක වැඩිපුර කතාබහට නොගියත් ඒ අය එක එක්කෙනාට කතා කරන විදිහෙන් ඒ හෝටලේ අයගේ නම් ටික දැනගන්න මට ඒ හැටි කාලයක් ගත උනේ නෑ.ප්ලේන්ටියක් බීලා සිගරට් එකක් බොන පුරුද්ද නොතිබුනාට හැමදාම හෝටලේ නානා හදන අඟල් දෙකේ දෙකේ ලොකූ එළවළු රොටියක රස බලන්න මං අමතක කලේ නෑ.හෝටලේ කැෂියර් කුඩුවේ හිටියේ බන්දු.ටිකක් මෝඩපහේ  පෙනුමක් තිබ්බට හැමදාම මට  බන්දු ඉතුරු සල්ලිනම් "කිරිගහට  උල්පිහියෙන් ඇන්න වගේ" මට දුන්නා.

                                  මං ඔන්න ඔහොම ඔය හෝටලේට යන අතරතුර දවසකදී තමයි මේ සිද්ධිය උනේ.මගේ මේසේ ඉස්සරහ පුටුවේ එක අංකල් කෙනෙක් ඇවිත් වාඩිඋනා.උඩු රැවුල පොඩ්ඩක් පොඩි උනානම් අංකල් නියම හිට්ලර්.මැස්සෝ සීයක් දෙසියක්  හිටියට ඉතා පිරිසිදු මේසේ දිහා  අංකල් වාඩි වෙලා  බැලුවේ මිනිහගේ නැන්දම්මා දිහා බලනවා වගේ පිළිකුලෙන්.පස්සේ ඒ අංකල් මං දිහත් සල්මන් ඛාන් දැක්ක වගේ ඇස් පිල්ලම් නොගහ විනාඩි දෙකක් විතර බලන් හිටියා.ඊට පස්සේ එයා එයාගේ පර්ස් එක අරන් පන්සියේ,දාහේ කොළ ටිකක් ගනන් කරලා ප්ලේන්ටියක් ඔර්ඩර් කළා.ප්ලේන්ටිය අරන් ආවේ වේටර් කරුණාපාල.මිනිහත් ඊට කලින් දවසේ යන්න ඕන ගමනක් එදා යනවා වගේ තමයි ප්ලේන්ටිය ගෙනාවේ.මොන වැඩේ තිබුනත් අපේ නංගි ඒ දවස්වල ප්‍රවීණා බලන්න ටීවී එක ලගට එන හැටි කරුණාපාලගේ මේ හදිස්සිය මට මතක් කලා.



කොහොමහරි කරුණාපාල ගෙනාපු ප්ලේන්ටියට අර අංකල්ගේ බොරු අස්සෙන් බඩට යන්න වාසනාව ලැබුනේ නෑ.මොකද කරුණාපාල කකුල් දෙක පැටලිලා මං හිටපු මේසේ උඩම වැටුන නිසා.ඒ වැටුන තේ වලින් අර අංකල්ගේ මුළු කමිසෙම තෙමුනා.ඒ දැක්ක සිද්දියෙන් "බකස්"ගාලා මගේ ශෝකය ප්‍රකාශ වෙන්න ආවත් මං ඒ වෙලාවේ බොහොම අමාරුවෙන් ඒක හිර කරගත්තා.

                                   වෙච්ච වැඩේට තද උන අංකල්ගේ මුණ නිකන් අපේ පන්සලේ මකර තොරණ වගේ කියල මට ඒ වෙලාවේ හිතුනා.චාල්ස් කුමාරයා වෙඩින් එකට ඇඳපු කෝට් එකට තේ හැලුනා වගේ එයාගේ කමිසේ දිහා බලන් හිටපු අංකල් වේටර් කරුණාපාලගේ ඇගට ගොඩ උනා.

" මොකක්ද බුරුවො කලේ? බලනවා සේරම ඇගෙනේ ..."  අංකල් කිව්වා.

 "අනේ හිතල නෙවෙයි මහත්තයෝ කලේ..වැරදීමකින් මහත්තයෝ උනේ" බයාදු බැල්මක් හෙලපු කරුණාපාල කිව්වා. 

"මොකද මොකද කලබලේ..?" නිදහස් දින උළෙලට කතාව පවත්වන්න ආපු ජනාධිපති වගේ වගේ තේජාන්විත හඬින් කැෂියර් බන්දු එතනට ඇවිත් කිව්වා.

" මුදලාලි බලනවකෝ තමුසෙලගෙ හෝටලේ වේටර්ලා,ප්ලේන්ටී එකක් ගෙන්න කිව්වා ...ඒක ඒ පාර මගේ ඇඟේ හැලුවා...දැන් ඉන්නවා මොකාද වගේ බලාගෙන...මේ වගේ වගකීමක් නැති මිනිස්සු වැඩට ගන්න එපා මුදලාලි"  අසුහාරදහයි තවත් දශම ගානකුයි තද උන අංකල් කිව්වා.

"ඇත්තද මේ මහත්තයා කියන්නේ..? තමුසේ ගෙනාපු ප්ලේන්ටිය මේ මහත්තයාගේ ඇඟේ හැලුවද..?"  කැෂියර් බන්දු ඇහුව්වා.

"අනේ ඔව් මුදලාලි" බිම බලාගෙන හිටපු වේටර් කරුණාපාල කිව්වා.

"එහෙනම් බලන් ඉන්නේ මොනාද මනුස්සයෝ..ඉක්මනට මේ මහත්තයට තව ප්ලෙන්ටී එකක් ගේනවා" වර්තමාන අධ්‍යාපන ඇමති වගේ බුද්ධිමත්ව බන්දු කිව්වා..