Showing posts with label සල්මන්ට වුනු සීන් කෝන්. Show all posts
Showing posts with label සල්මන්ට වුනු සීන් කෝන්. Show all posts

Tuesday, April 17, 2012

ප්ලේන්ටිය


මගේ ජීවිතේ උන සිද්ධි ගැන මතක් කරලා බලනකොට එකපාරටම මට මේ සිද්ධිය මතක් උනා.ඒ සිද්ධිය එදා මට  මගේ ඇස් වල කදුළු පිරෙනකන් හිනාවෙන්න මගපාදපු නිසා මට ඒක හොදට මතකයි.මේක උනේ මං  බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක වැඩ කරන අතරතුර කාලයේදී.

                    දවස පුරාම වැඩ කරලා අපේ ඔෆීස් එක ලඟ පාරෙන් මං වැනි වැනි හැමදාම මං සිංහගිරි හෝටලේට ගියේ ප්ලේන්ටීයක් බීලා පොඩි පණක් ගන්න.මං ඒ පාරෙන් හවසට  වැනි වැනි ගියේ දවසම එකදිගට වැඩකරලා මහන්සියට උනාට,ඒ පාරේ ඒ වෙලාවට කොටට ඇදගත්ත අනිත් ඔෆිස්වල කෙල්ලෝ එහෙම යන්නේ එයාලටත් මහන්සි නිසාද?එහෙමත් නැත්නම් එයාලා එහෙම යන්නේ එයාල දිහා බලන අපේ මහන්සිය නැති කරන්නද කියලා මට ඒ දවස්වල නිතරම හිතුනා.කොහොම නමුත්  නන්නාදුනන අයට හතලිස්පහේ ගංවතුර වගේ ප්ලේන්ටියක් දැම්මත්,හැමදාම ඒ හෝටලේට යන එන නිසාදෝ තේ හදන නන්දකුමාර් මට වෙදපප්පාගේ අරිෂ්ටය වගේ තේ එකක් මට හැමදාම හදල දුන්නා.හෝටලේ වැඩ කරන අය එක්ක වැඩිපුර කතාබහට නොගියත් ඒ අය එක එක්කෙනාට කතා කරන විදිහෙන් ඒ හෝටලේ අයගේ නම් ටික දැනගන්න මට ඒ හැටි කාලයක් ගත උනේ නෑ.ප්ලේන්ටියක් බීලා සිගරට් එකක් බොන පුරුද්ද නොතිබුනාට හැමදාම හෝටලේ නානා හදන අඟල් දෙකේ දෙකේ ලොකූ එළවළු රොටියක රස බලන්න මං අමතක කලේ නෑ.හෝටලේ කැෂියර් කුඩුවේ හිටියේ බන්දු.ටිකක් මෝඩපහේ  පෙනුමක් තිබ්බට හැමදාම මට  බන්දු ඉතුරු සල්ලිනම් "කිරිගහට  උල්පිහියෙන් ඇන්න වගේ" මට දුන්නා.

                                  මං ඔන්න ඔහොම ඔය හෝටලේට යන අතරතුර දවසකදී තමයි මේ සිද්ධිය උනේ.මගේ මේසේ ඉස්සරහ පුටුවේ එක අංකල් කෙනෙක් ඇවිත් වාඩිඋනා.උඩු රැවුල පොඩ්ඩක් පොඩි උනානම් අංකල් නියම හිට්ලර්.මැස්සෝ සීයක් දෙසියක්  හිටියට ඉතා පිරිසිදු මේසේ දිහා  අංකල් වාඩි වෙලා  බැලුවේ මිනිහගේ නැන්දම්මා දිහා බලනවා වගේ පිළිකුලෙන්.පස්සේ ඒ අංකල් මං දිහත් සල්මන් ඛාන් දැක්ක වගේ ඇස් පිල්ලම් නොගහ විනාඩි දෙකක් විතර බලන් හිටියා.ඊට පස්සේ එයා එයාගේ පර්ස් එක අරන් පන්සියේ,දාහේ කොළ ටිකක් ගනන් කරලා ප්ලේන්ටියක් ඔර්ඩර් කළා.ප්ලේන්ටිය අරන් ආවේ වේටර් කරුණාපාල.මිනිහත් ඊට කලින් දවසේ යන්න ඕන ගමනක් එදා යනවා වගේ තමයි ප්ලේන්ටිය ගෙනාවේ.මොන වැඩේ තිබුනත් අපේ නංගි ඒ දවස්වල ප්‍රවීණා බලන්න ටීවී එක ලගට එන හැටි කරුණාපාලගේ මේ හදිස්සිය මට මතක් කලා.



කොහොමහරි කරුණාපාල ගෙනාපු ප්ලේන්ටියට අර අංකල්ගේ බොරු අස්සෙන් බඩට යන්න වාසනාව ලැබුනේ නෑ.මොකද කරුණාපාල කකුල් දෙක පැටලිලා මං හිටපු මේසේ උඩම වැටුන නිසා.ඒ වැටුන තේ වලින් අර අංකල්ගේ මුළු කමිසෙම තෙමුනා.ඒ දැක්ක සිද්දියෙන් "බකස්"ගාලා මගේ ශෝකය ප්‍රකාශ වෙන්න ආවත් මං ඒ වෙලාවේ බොහොම අමාරුවෙන් ඒක හිර කරගත්තා.

                                   වෙච්ච වැඩේට තද උන අංකල්ගේ මුණ නිකන් අපේ පන්සලේ මකර තොරණ වගේ කියල මට ඒ වෙලාවේ හිතුනා.චාල්ස් කුමාරයා වෙඩින් එකට ඇඳපු කෝට් එකට තේ හැලුනා වගේ එයාගේ කමිසේ දිහා බලන් හිටපු අංකල් වේටර් කරුණාපාලගේ ඇගට ගොඩ උනා.

" මොකක්ද බුරුවො කලේ? බලනවා සේරම ඇගෙනේ ..."  අංකල් කිව්වා.

 "අනේ හිතල නෙවෙයි මහත්තයෝ කලේ..වැරදීමකින් මහත්තයෝ උනේ" බයාදු බැල්මක් හෙලපු කරුණාපාල කිව්වා. 

"මොකද මොකද කලබලේ..?" නිදහස් දින උළෙලට කතාව පවත්වන්න ආපු ජනාධිපති වගේ වගේ තේජාන්විත හඬින් කැෂියර් බන්දු එතනට ඇවිත් කිව්වා.

" මුදලාලි බලනවකෝ තමුසෙලගෙ හෝටලේ වේටර්ලා,ප්ලේන්ටී එකක් ගෙන්න කිව්වා ...ඒක ඒ පාර මගේ ඇඟේ හැලුවා...දැන් ඉන්නවා මොකාද වගේ බලාගෙන...මේ වගේ වගකීමක් නැති මිනිස්සු වැඩට ගන්න එපා මුදලාලි"  අසුහාරදහයි තවත් දශම ගානකුයි තද උන අංකල් කිව්වා.

"ඇත්තද මේ මහත්තයා කියන්නේ..? තමුසේ ගෙනාපු ප්ලේන්ටිය මේ මහත්තයාගේ ඇඟේ හැලුවද..?"  කැෂියර් බන්දු ඇහුව්වා.

"අනේ ඔව් මුදලාලි" බිම බලාගෙන හිටපු වේටර් කරුණාපාල කිව්වා.

"එහෙනම් බලන් ඉන්නේ මොනාද මනුස්සයෝ..ඉක්මනට මේ මහත්තයට තව ප්ලෙන්ටී එකක් ගේනවා" වර්තමාන අධ්‍යාපන ඇමති වගේ බුද්ධිමත්ව බන්දු කිව්වා..



Wednesday, March 28, 2012

___අතින් කයිට්___





මේ සිද්දිය උනේ මම රැකියාවක් සඳහා විදෙස්ගතවෙලා ඉන්න අතරතුර කාලයේදී .විදෙස්ගත උනේ රැකියාවක් කරන අදහසින් උනත්,මං රැකියාව කරන ස්ථානයට වඩා වැඩි කාලයක් මා ගතකලේ කාමරයේය.ඒ අලුතින් ආරම්භ කල අපේ කොම්පැනියට අප වැනි වාසනාවන්ත පිරිසකගේ සම්ප්‍රාප්තිය නිසා ආයතනයම ඉතා ශීග්‍රයෙන් බංකලොත් වේගෙන ආවේය..විදුලි සෝපාන සමාගමක් වූ අප ආයතනයේ මුල්ම සාමාජිකයන් වූ අපි අපේ ලොක්කාට  අප අදහන ශාස්තෘවරුන්ටත් වඩා ගරු කළේය. ඒ අපට වැඩ නොමැති උවද කලට වෙලාවට අපට පඩි ලබා දුන් නිසාය.
                         ඒ දිනවල මට අප ආයතනයේ ලොක්කා පෙනුනේ අපගේ පූරුවේ ණය කාරයෙක් ලෙසටය.
සක්විති මෙන් ඔහුද පෙර ආත්මයක අපට පොල්ලක් තියන්නට ඇතියැයි මට සිතුන වාර ගණන අනන්තය.
මගේ කාමරය මා ගැසූ අයිස් වලින් සීත ගබඩාවක් වෙමින් පැවතුනද මා ලංකාවේ මිතුරන්ට පවසා තිබුනේ ඒ මුළු රටම මාගේ අතින් පාලනය වන තරමට මා කාර්ය බහුල පුද්ගලයෙක් කියාය.
එසේ කීමට හේතුවනම් නිකන් ඉදන් පඩි ගනීම ගැන මාගේ මිතුරන්ට මා ගැන දුකක් ඇති වී,ඔවුන් එ ගැන ඕනාවට වඩා සිතන්නට යැමෙන් මට  ඇස්වහ කටවහ වදීයැයි මගේ අම්මා මට නිතර සිහිකළ නිසාය.
කොහොම නමුත් මිතුරන්ට මගේ කාර්යබහුලත්වය පෙන්වීම සදහා මං නොගත් උත්සහයක් නැත.
එ සදහා ඔවුන් මා වෙත ලබාදෙන මිස්කෝල් දහයකට එක් වරක් පමණක් මිස් කෝල් දීම,කෝල් එකක් අතර තුරදී "මචං මං බිසී " යැයි පවසා කෝල් එක කට් කිරීම විශේෂ විය.
                              ඔය අතරතුරේදී තමයි මට චතුක මල්ලිගෙන් කෝල් එකක් අවේ.කෝල් එකක් කිව්වට එ කිසිම අවස්ථාවක මාගේ ෆෝන් එක තත්පරයකට වඩා නාද උනේ නැත.කොහොම නමුත් ඔය විදිහට මට මිස් කෝල් දහයක් විතර ඇවිත් තිබුනා.ඒ ගෙවුනේ මාසේ අන්තිම දවස් කිහිපය නිසා ලංකාවේදී මෙන්ම මාසේ අන්තිම වෙනකොට හතේ හත වැදීමපුරුද්දකට වගේ මට ඒ රටේදීත් උනා.ෆෝන් එකේ සත අරික්කලක්වත් නොතිබුන මට ෆෝන් එකට කාඩ් එකක් දා ගන්න අල්ලපු කාමරේ හිටිය ජයවීර අයියා වැඩ ඇරිලා එනකන් ඉන්න සිද්ද උනා.
                     ජයවීර අයියා ආවම මං යාලුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න තාත්තාගෙන් අවසර ඉල්ලන පොඩි එකෙක් වගේ  ජයවීර අයියා වටේ දැවටී දැවටී ඉදල එයාගෙන් කාඩ් එකට ඕන ගාන තට්ටු කරගත්තා.
ඔය අතරේ මට "සල්මාන් අයියේ  හදිස්සියක්,මට කෝල් එකක් ගන්න" කියල චතුක මල්ලිගෙන් කෙටි පණිවිඩයක් අවා. ඒ පාර මං කඩිමුඩියේ කඩේට ගිහින් කාඩ් එකක් දාගෙන චතුක මල්ලිට කෝල් එකක් දුන්නා.ෆෝන් එක තුන හතර වතාවක් නාදවීමෙන් පසුව චතුක මල්ලි "හලෝ" කිව්වා.
"ඇයි මල්ලි මිස් කෝල් ගැහුවේ? මොකක් හරි හදිස්සියක්ද? ගෙදර සේරම හොදින් ඉන්නවා නේද?" මං ඇහුවා."ගෙදර අය සේරම හොදින් ඉන්නවා එත් මට පොඩි කරදරයක් උනා.අයියා කවද්ද ලංකාවට එන්නේ?" චතුක මල්ලි මගෙන් ඇහුව්වා. අපේ අම්මා තාත්තවත් නොඅහන ප්‍රශ්නයක් එකපාරටම චතුක මල්ලි මගේ අහන එක මට මාරම ප්‍රශ්නයක් උනා. "ඇයි මල්ලි මොකක්ද සීන් එක " මං අයෙත් ඇහුව්වා.
"නෑ..නෑ අයියේ මේ..මෙකයි ප්‍රශ්නේ ..මං නුවර ගියාම මට කෙල්ලෙක් සෙට් උනා.ඉතින් මං ඒ කෙල්ලට මගේ නම්බර් එක දුන්න.ඉතින් එහෙ ගිහින් එනකොට බස් එකේදී මගේ ෆෝන් එක වැටිලා...ඉතින් දැන් අර කෙල්ල ෆෝන් කරන්නේ ඔය ඒ නම්බර් එකටනේ..ඉතින් ඒ සිම් එක තියෙන්නේ ඔයාගේ නමටනේ..එකයි ඔය ලංකාවට ලගදි එනවද කියල දැනගන්න කෝල් කලේ ඔයාට කියල ඒ නම්බර් එකටම අලුත් සිම් එකක්‌ ගන්න." චතුක මල්ලි එහෙම කිව්වා.
         මගේ කෝපය නිම්හිම් නැතිඋනා. ඊට පස්සේ මං චතුක මල්ලිගේ අම්මගේ ගුණ ගායනා කරලා ෆෝන් එක තිබ්බ.....
ඔන්න ඔහොම තමයි ඉතින් එක එක මනුස්සයන්ගේ එක එක ගොන්කම් ප්‍රදර්ශනය වෙන හැටි. අනේ ඉතින් මමත් අතින් කයිට් කාගෙන අරුගේ අම්මට බැනලා පව් පුරෝගත්තනේ... ඔයාලත් එහෙම වෙලා තියෙනවද හෑ...???